චම්පිකාට හොයන්නෙ රජයේ රැකියාවක් කරන තරුණයෙක් කිව්වම මගේ අහිංසක බලාපොරොත්තු සුනුවිසුනු වෙලා ගියා. චම්පිකා මුලින්ම දැකපු දවසෙ ඉඳලා එයා කාගේ කවුද කියලා දැනගන්න තිබුන උනන්දුව , ඊට පස්සෙ එයාව නැවත දකින බලාපොරොත්තුවෙන් එයාලගේ ළිඳට නාන්න ගියහැටි. එයාව දකින බලාපොරොත්තුවෙන් පුංචි ගේ පුතාට උදව්වට ගිහින් දර පලපු හැටි, සේරම නැවත මතක් වෙනකොට හිතට ලොකු වේදනාවක් ඇතිවුණා.
කොහොම හරි මං නැවත ගෙදර ඇවිත් මගේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කලා. ඒ අතර මම රැකියාවකුත් කලා....දැන් චම්පිකාගේ සිද්ධිය වෙලා අවුරුදු 7,8, විතර ගිහින් ...
එයා ගැන මවපු අනාගත සුබ සිහින මටත් අමතකවී ගිහින් ...දිනක් මා සේවය කල ආයතනයේ අවශ්‍යතාවයකට කොළඹ ගියා...
නැවත බසයේ එනවිට මගේ ආයතනයෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා.. එහි සේවය කරන අක්කා කෙනෙක් කතා කලේ..
""ඔයාගේ ආච්චී ඔයාව හොයාගෙන ඔෆිස් එකට ආවා. අපි කිව්ව ඔයා කොළඹ ගිහින් කියල . එයා ඔයාගේ මොබයිල් අංකයක් ඉල්ලුවා .ඔයා කාටවත් දෙන්න එපා කියල තියෙන නිසා දුන්නේ නැහැ .
එයාගෙ අංකය අපි ඉල්ලා ගත්තා"" යැයි කීවාය .
හදිසියේ පාත්වූ ගිනිවිජ්ජුම්බරය මොකක් දැයි බසයේ සිටම මං කල්පනා කලා.... කිසිවක් සිතාගන්නට නොහැකිව ආයතනයට පැමිණි මා සේවය හමාරවී ගෙදර ගොස් සියල්ල අම්මාට කීවේය ..
අම්මා ගේ උපදෙස් අනුව ආච්චී විසින් මගේ ආයතනයට ලබාදී තිබූ අංකයට ඇමතුමක් ගතිමි... එයට ප්‍රතිචාර දැක්වූයේ පුංචි විසිනි...
""ඇයි මාව හොයාගෙන ගමේ අම්මා ආවෙ "' මම ඇසුවේය...
"ඔයාට යෝජනාවක් තියෙනවා " පුංචි කීවාය...
කාගෙන්ද........චම්පිකා ගේ ගෙදරින් ...
පුංචි කීවාය ............
මේ ගැන ඔයාලගේ අම්මා එක්ක කතා කරන්න ඕන ...අම්මට කියන්න මට කෝල් එකක් දෙන්න කියල .....යැයි පුංචි කීවාය ....
මා එවෙලේ පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් පිනුමකුත් ගසන්නට ඇතැයි ඔබ සිතනවා ඇති ....එහෙත් වසර 7,8 කට පෙර චම්පිකා පිළිබඳව මසිත තුල තිබූ කැමැත්ත කාලයාගේ ඇවෑමෙන් වියැකී ගොස් තිබුණි....
"මං අම්මාට කියන්නම් "කියා පුංචිට පවසා දුරකථනය විසන්ධි කලෙමි....
පසුව සිද්ධිය අම්මාට පැවසූ අතර ඔයා මොකද කියන්නේ යැයි අම්මා ඇසුවාය...
" මං කැමති නැහැ " කවදත් සෘජු තීරණ ගන්නා මගේ පිළිතුර ගැන අම්මා නැවත නැවත ප්‍රශ්න අසන්නට ආවේ නැත...
ඊට දිනකිහිපයකට පසුව පුංචි මගේ ජංගම දුරකථනයට කතා කලාය....
"මොකද ඔයාගේ අම්මා කතා කලේ නැත්තේ , අරහෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා " පුංචි කීවාය
මං අම්මට කියන්නම් කෝල් එකක් ගන්න කියල ....
එදින රාත්‍රියේ පුංචිට ඇමතුමක් ගත් අම්මා මගේ අකමැත්ත ප්‍රකාශ කලේය ...
එහෙත් එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඇය ...
""ඇයි කැමති නැත්තේ මොන තරම් දේපොළ තියෙනවාද ...සේරම ඒ කෙල්ලට.....ඉඩම් අක්කර........කුඹුරු .....
සේරම එයාට ......කවුරුවත් ඇඟිලි ගහන්න එන්නෙ නැහැ ...එයාට ඕන විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් ......
පුංචිගේ කතා ශෛලිය දක්ෂ මඟුල් කපුවෙකුගේ වාග් විලාශය දක්වයි.....
එහෙත් මගේ ප්‍රතිචාරයේ වෙනසක් නොමැත.....කිසිදා සිදුනොවන විවාහයක් වෙනුවෙන් වෙහෙසෙන පුංචි පිළිබඳව මා තුල කළකිරීමෙක් මෝදු වෙමින් තිබුණි ....
සාමාන්‍යයෙන් මගේ තීරණ වෙනස් කිරීමට අන්‍යයන්ට නොහැක..
එසේ යම් පමණකින් හෝ කල හැක්කේ අම්මාට පමණකි.....මගේ දැඩි භාවය නිසාම ඇතැම් පුද්ගලයන් මා ඇසුරු කිරීමට අකමැතිය ....එහෙත් ඇතැම්හු ඉතා කැමතිය.....
කෙසේ හෝ සති කිහිපයකට පසුව අම්මා ගමේ ගියාය.....ඒ ආච්චීගේ සැපදුක් විචාරන්නට මෙන්ම, රජයේ රැකියාවක් කරන පුද්ගලයකුට පමණක් විවාහ කරදෙන්නට තීන්දු කරගෙන සිටි චම්පිකාගේ මංගල යෝජනාවේ ආගමනය පිළිබඳව තොරතුරු සොයා බලන්නටය.....
ගමේ ගොස් පැමිණි අම්මාට අනුව චම්පිකා ගේ මංගල යෝජනාව ආච්චීගේ ගෙදරට ඉදිරිපත් කර තිබුණේ චම්පිකාගේ දෙමාපියන් විසිනි.....
ඒ අනුව ආච්චී විසින් මගේ ආයතනය සොයා පැමිණ, එය ඉදිරිපත් කර තිබුණි.......
කෙසේ වෙතත් එම යෝජනාවට දිගින් දිගින් අපගේ අකමැත්ත පළකලද එය අවබෝධ කරගැනීමේ බුද්ධියක් පුංචි සතුව නොතිබිණි ....
මෙසේ සතියකට වරක් දුරකථන ඇමතුමක් දී සුවදුක් විචාරා අවසානයේ "අරකට මොකද කියන්නේ "" යැයි ඇසීම ඇගේ පුරුද්දක් විය....
මෙම කරදරයෙන් බේරෙන්නට කල්පනා කල්පනා කරමින් සිටි මාහට අපූරු අදහසක් සිත් පහල විය..... එනම් ඇගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදී සිටීමය...මෙලෙස මාස ගණනාවක් පුංචි ගේ දුරකථන ඇමතුම් මඟහරිමින් සිටි මාහට දිනක් ආච්චී බලන්නට ගොස් පැමිණි අම්මා අපූරු තොරතුරක් දුන්නේය.....